Monday, June 5, 2017

උද්ඝෝෂණවලට වඩා කෝලම් හොඳයි
එය සර්ව රාත්‍රික කෝලම් මඩුවක් වුණා. පැවැත්වුණේ අම්බන්ගොඩ බන්දු විජේසූරිය  නර්තන කලායතන බිමේ. අවුරුදු 6කට පස්සෙ කෝලම් රංගනයේ යෙදුණු නැට්ටුවන් අයත් වුණේ හත්මුතු පරම්පරාවරකට.
නළුවො වෘත්තීය මට්ටමේ. ඒ වුණත් ඔවුන්ගෙ වෘත්තිය කෝලම් නැටුම් නෙමෙයි. කුඩා කාලයේ පටන් පුරුදු පුහුණු වූ  නර්තන රංගන නිපුණතාව  හා විභවතාව තමන්ගේ ඇ‍‍ඟේ තිබෙන්නට හැර ඔවුන් තම ජීවනෝපා සඳහා වෙනත් වෘත්තිවල යෙදුණු අය බව දැනගන්න ලැබුණා. ඒවා රජයේ හා රජයේ නොවන පෞද්ගලික අංශයේ රැකියා වෙන්න පුළුවන්.
හත්මුතු පරම්පරාවෙ දිවංගත ඕදිරිස් ද සිල්වා විජේසූරිය, දිවංගත ආරියපාල විජේසූරිය සහ දිවංගත බන්දු විජේසූරිය යන පරපුරේ ආදිතමයන් තම ආත්මය ලෙස හැඩගසා ඇති පරම්පරාව වුණත් අටවැනි පරම්පරාවේ සුහුඹුලන්ගේ මැදිහත් වීමුත් පේන්න තිබුණා.
මුළු දකුණු පළාතේමත්, සමස්ත ලංකාවේමත් කෝලම් ජන සම්ප්‍රදායේ නැටුම් හා ජවනිකා දැකගත නොහැකිවා වගේම විතරක් නෙමෙයි, හත්මුතු පරම්පරාවක තියා එක පරම්පරාවකවත් කෝලම් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ තරම්ම කෝලම්  ජන සමාජයෙන් බොහෝ ඈතට ගිහින්.
නමුත් අම්බලන්ගොඩ හිරේවත්ත ජුවන්වඩු සම්ප්‍රදායේ කෝලම් නැටුම් පාර්ශ්වය නම් තවමත් හුස්ම ගන්නවා. ඒක අපේ සන්තෝසයට කාරණයක්.
එපමණටම අම්බන්ගොඩ කෝලම් ශිල්පියො  කෝලම්වලට ආදරෙයි.
සාම්ප්‍රදායික වෙස් මුහුණක් නිර්මාණය කිරීම හෙවත් පැරැණි ඇඹුම් කවි හා මිනුම් ක්‍රම උපයෝගී කැගෙන අජීවී කදුරු කොටයක් ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් බවට පත් කරවීමේ කාර්යයේ සිට කෝලම් රඟමඬලේ  එය පැලැඳ නැටීම දක්වා වූ පෘථූල කාර්යය ඔවුහු මේ වන විටත් සිදු කරමින් සිටිනවා.
කෝලම්, දකුණු පළාතේ ප්‍රවේණි උරුමයක්. මනෝෂිකා, කාන්චනා සහ අමල්ක විජේසූරියලා තුන්දෙනා ඒ උරුමය රකින නූතනයො.
කෝලම් උත්පත්ති කථාව කොහොම එකක්ද?
මේ  පහදන්නේ   බන්දු විජේසූරිය මහතාගේ කනිටු දියණී, නර්තන ශිලපිනී හා උපදේශිකා කාන්චනා විජේසූරිය.
''කෝලම්  කියන්නේ පහතරට ප්‍රදේශවල පැවැති වෙස් මුහුණු පැලැඳගෙන කරන රැගුම් විශේෂයක්. කෝලම් කොටස් දෙකක් තියෙනවා. පණිවිඩ කෝලම එකක්. කතා පුවත්  රංගන කෝලම තව එකක්.
කෝලම් මඩුවක් සර්ව සම්පූර්ණ වෙන්නේ මුළු රෑ පුරා නැටුවාමයි. රඟ දැක්වූවාමයි.
කෝලම් නැටුම් සම්ප්‍රදාය 1829 තෙක් දිවයන සම්ප්‍රදායක්. ඒ කාලෙ මිනිස්සු කුල ක්‍රමය නිසා පීඩාවට පත්වෙලා තමයි හිටියෙ. වචනවලින් කියාගන්න බැරි ඒ පීඩනය මුදාහැරලා තියෙන්නේ  අභිනය තුනතික්.  මුහුණේ සාත්වික අභිනය ස්ථාවර කරගන්න වෙස් මූණක් පැලැඳගත්තා. වාචික අභිනය අසම්පූර්ණ කරමින්අනෙක් අභින දෙකෛන් තතු විත්ති කියා පෑවා. වචන ඇහෙන්නෙ වෙස් මූණෙ ඇති හිඩැස් තුළින්.
කෝලම්වල ආරම්භය නිශ්චිත නැහැ. කමුත් ජනප්‍රවාදයේ මෙන්න මෙහෙම නතාවක් තියෙනවා.
මහා සම්මත රජුගේ බිසවුන් වහන්සේ වූ මැණික්පාල බිසව හිනා ගස්වන්වන්න ඕනෑ වුණා. උසුළු විසුළු කෙළි නැටුම් පෙන්වන්න රජු තීරණය කළා. ඒ හිනාවීමේ දොළදුක සංසිඳුවන්න. නොයෙක් විකටයන් නැට්ටුවන් ගෙන්වා හිනා ගස්වන්න හැදුවත් ඒක ඉටුකර ගන්න බැරි වෙලා තියෙනවා. මේ වැඩේ දැක්කා සක් දෙවිඳුන්. දැකලා විකට ඇඳුම් වෙස්මූණු. හා රංගන ක්‍රමයක්, ඊට අවශ්‍ය පිටපතුත් ගායක ගායිකාවනුත් රාජකීය උද්‍යානේ මවලා තියලා තිබුණා. පසුවදා උයන්පල්ලා මේ බව රජුට සැළ කරලා  සක් දෙවිඳුන්ගේ  මැවීම් අනුව වැඩ පටන්අරන් තියෙනවා. එයින් තම බිසවගේ දොළදුක සංසිඳී තිබෙනවා.
මේ අවස්ථාව නිරූපණයට කෝලම් නාට්‍යය තුළ මහා සම්මත රජුත් එම බිසවත් රඟපාන කෝලමක් තිබෙනවා.
ගැමි සමාජයේ විරෝධාකල්ප සදය උපහාසයෙන් කීමයි කෝලම්වල අන්තර්ගතය වන්නෙ. ඒක අද අප දකින උද්ඝෝෂණවලට වඩා බෙහෙවින් පලදායකයි.
එදා රාත්‍රියේ කෝලම් මඩුව නැරඹීමට පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අනුර වික්‍රමසිංහ පැවසුවේ කෝලම් ප්‍රභවය කවි පොතක් බවයි.
'' කවි 665ක් තිබෙන කවි පොතක් තමයි කෝලම් රංගනයේ පිටපත වෙන්නෙ. මේ මහා කවි පොත දැනට ඇත්තේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ. රංගය පුරාම මේ කවි තමයි ජවනිකාවෙන් ජවනිකාවට ගායනා කෙරෙන්නෙ. රංගනය ඇරඹෙන්නේ බුදුන්ට දෙවියන්ට මල් පහන් පිදීමෙන් අනතුරුවයි. මහාචාර්ය අනුර වික්‍රමසිංහයන් පවසන පරිදි කෝලම් රංගන සියල්ල පුරාම සිටින චරිතය වන්නේ කාරියකරවන රාලයි. ඔහු පමණක් කිසිදු වෙස් මුහුණක් පලදින්නේ නැහැ. සිටින්නේ රතු පැහැති දිගු කබායක් වැනි ඇඳුමක් ඇඳගෙනයි. වෙස් මුහුණු පැලැඳගෙන රඟන නළුවන් සමඟ සංවාදයේ යෙදෙන්නේ ඔහුයි.
කෝලම් මඩුවක් තුළ රගන්නේ වේදිකාවක් මත වුණත් එයට වේදිකාවක් කියන්නේ නැහැ. එය හඳුන්වන්නේ තානායමිපළ වශයෙන්. සබේ නම්න් ප්‍රෙක්ෂක ජනයා හදුන්වන අතර සබේ විදානෙ වන්නෙ අප මුලින් සදහන් කළ කාරිය කරවන රාලමයි.
වේදිකා පසුතලය ලෙස ගැනෙන්නේ ගස්කොළන් සහිත වන බූටෑවක්. වේදිකාව මත පැත්තක ගොක් අතු සහ කෙසෙල් පතුරු උපයෝගී කරගෙන තැනූ මල් යහනක්.
යළිත් කාන්චනා...
'' කෝලම් අතීතයේ රඟදක්වා ඇත්තේ තනායම්පළවල. නළුවන් සූදානම් කෙරුණේ වෙස් අත්තට පිටුපසින් තාවකාලිකව තැනුණු පොල් අතු මඩුක් තුළ. එයට කීවේ සැරසුම් මඩුව කියලයි. අයිලයකට සමාන තොරණක් වේදිකාවේ  පසුබිමේ සකසනවා.
 දෙපස හා පසුබිමේ ගොරකා ගස් සිටුවනවා. කෝලම ශාන්තිකර්මයක් නෙමෙයි. ආතුරයෙක් නැහැ. ආතුරයා විදිහට සලකන්නේ මුළුමහත් සමාජය.''
සමාජය ආතුරව ඇතැයි කාන්චනා පවසනවා. එය සැබෑවක්. සමාජ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් සමාජය ගිලන්. ආතුරයි.
කෝලම  අද වඳභාවයට පත් වී ඇත්තේ ඇයි?
මේ බන්දු විජේසූරිය මහතාගේ දෙටු දියණිය.
''ප්‍රජාවට උවමනාවක් නැහැ. ඔවුන් මේක ගර්භ ශාන්තිකර්මයක් කියලා හිතාගෙන හිටියා.  අනෙක මෙතරම් වෛද්‍ය ශාස්ත්‍රය දියුණු කාලයක මිනිස්සු ශාන්ති කර්මවලින් ඈත් වෙනේක පුදුමයක් නෙමෙයි.
නමුත් තවමත්  වෙස් මුහුණක් පැලැදගෙන නටන ගරා යක් නැටුමේ ශාන්ති කර්මයක් තියෙනවා කියලා නේද ඒ නැටුම හැම වැඩක් අවසානයේ  දුම්මල ගසමින් නටන්නේ.
මා එහෙම ඇහුවා.  මහේෂිකාගෙන් උත්තරය මෙහෙම ලැබුණා.
'' ශාන්තියක් සෙතක් උදාවෙනවා කියන විශ්වාසය තිබේ නම් අපට කරන්න දෙයක් නැහැ. නමුත් මේක උතුම් කලාවක් හා සංස්කෘතියක්.''
කෝලම නිර්මිත වන්නේ වෙස් මුහුණක්, පහතරට බෙරයත් , පෙළ සමන්විත කවිත්  සහ                                                         රංගන විලාසත් නිසා.
ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ වෙස් මුහුණයි. වෙස් මුහුණේ අගය  තානායම්පළේදී වැඩි වන්නේ වෙස්මුහුණක් නොපලදින සබේ විදානේ නිසා. වෙස් මුහුණ සහ සැබෑ මුහුණ අතර කැපී පෙනෙන අන්තරයෙන්.
දොළදුක නැතිවන තුරු මහා සම්මත රජුගේ බිසවත් සිනාසෙන්නට ඇත්තේ මේ නිසා යැයි අපට සිතන්න පුළුවනි.
නමුත් මුදල පසුපසම හඹා යන අපට කෝලම් රංගනයක් බලා සිනාසෙන්නට ඉසිඹුවක් තිබෙනවාද? උත්තරය නැත යන්නයි.
මෙන්න  රැය පුරා නටපු කෝලම්.
හේවා කෝලම, අණබෙර කෝලම, ආරච්චි කෝලම, පොලිස් කෝලම, සිංහ කෝලම, නාගරාක්ෂ කෝලම,පේඬි කෝලම, රජ කෝලම, ගුරුළු කෝලම, මරු රාක්ෂ, සුරඹා වල්ලිය, කරපිට කෝලම, බඩදරු කෝලම, මනමේ කතාව.
කාන්චනා අන්තිමට කීවේ තම පියා මියයන්ට පෙර මන්ත්‍රී කෝලම නමින් අලුත් කෝලමක් නිර්මාණය කරමින් සිටි බවයි.
එදා රැය පුරා කෝලම් නැරඹූ ප්‍රේක්ෂක පිරිස 500ක් තරම් වුණා. ඔවුන් නම් ඇතිතරම්  සිනා සුණා.
ජේ. රණතුංග














No comments:

Post a Comment

WHITESTICK STORY

A long cane, the primary mobility tool for the visually impaired A white cane is used by many people who are blind or visually...